Sunday, December 3, 2017

ගී රස වින්දනය 03 - ආගමික ගීත විචාරය

සුභාවිත ගීතයන්හි විවිධ තේමා අතුරින් පලමුවැන්න වන ආගමික ගීත පිළිබද කෙටි විචාරයක් කිරීමට මෙම ලිපිය තුලින් බලාපොරොත්තු වෙනවා.

ආගමික ගීත ගත් විට අපිට පහත ආකාරයට අනු මාතෘකා අනුව දකින්නට පුලුවන්.

01. සෘජුවම ආගමට සම්බන්ධ පද රචනා
02. වක්‍රාකාරව ආගමට සම්බන්ධ පද රචනා




01. සෘජුවම ආගමට සම්බන්ධ පද රචනා

මෙහි දී බුදු ගුණ ගැයෙන ගීත, දහම් කරුණු මාතෘකා කරගත් පද රචනාවන් දකින්නට පුලුවන්.

* අමාදහර දිය - වික්ටර් රත්නායක
* බුදු පියාණනේ - සෝමතිලක ජයමහ
* ගිලෙම් ඔබේ ගුණ මූදේ -  ඩබ්.ඩී. අමරදේව
* මෙත්මල් පිබිදේවා - මොරිස් දහනායක
* නිවන් දුටු හිමි - වික්ටර් රත්නායක
* තණ්හා ආශා -  ඩබ්.ඩී. අමරදේව


02. වක්‍රාකාරව ආගමට සම්බන්ධ පද රචනා

සෘජුවම ආගමික නොවූවත් ආගමට සම්බන්ධ කරුණු ඇසුරෙන් ලියවුනු ගීත ද බොහෝමයක් ඇත.

* ලා දලු බෝපත් - කරුණාරත්න දිවුල්ගනේ
* පිහිටක් නැති - ගුණදාස කපුගේ
* බෝ මලුවේ මල් - සනත් නන්දසිරි
* බුදු හාමුදුරුවො වැඩියා වාගෙයි- සනත් නන්දසිරි
* ගමේ පන්සල - එඩ්වඩ් ජයකොඩි
* ගගට කපන ඉනි - එඩ්වඩ් ජයකොඩි



    බුදු රජාණන් වහන්සේගේ අපමණ ගුණකද ගීයට නැගීම අපහසු කරුණකි. නමුත් දක්ෂ ගේය පද රචකයන්ගේ හා සංගීත සුසංයෝජකයන්ගේ එකතුවෙන් නිර්මාණය වූ සමහර ගීත ශ්‍රවක හදවත්  තුල බුද්ධාලම්භන ප්‍රීතිය ඇති කිරීමට සමත් ය.

    අමා දහර දිය ගලා ගලා ගීතය තුලින් සම්බුද්ධ තෙමගුල පිළිබදව අවබෝධයක් ලබා දෙන්නේ මූලික කරුණු සියල්ල ගී පද කිහිපයකට මනා ලෙස කැටි කරමින් ය.
ලෝ සත අතරින් ජනිත උනා...
සියල් කෙලෙස් මැඩ බුදු වූවා...
කරුණාබර නෙත නිවී ගියා...

    දුකින් පිරි පෘථජන දිවියට රුවන් සාගරක් බදු වූ බුදු වදනක් මෙන් රසයක්, මිහිරක් කැටි වූ සුවදායක අන් යමක් වෙන කොහිද? තැවෙන සිතක් සනහාලන්නට හැකි වෙනත් යමක් ලොව කොහේ නම් ඇති ද?

හිමි දම් ආකර ගුණ මිණි සාගර
ලොව්තුරු බුදු සමිදේ
හිත සුවදායක බුදු ගුණ ගීයක
රසය විදිමි නිබදේ...

    සිතට දුකක් ශෝකයක්, ජීවිතයට බාධාවක් පැමිණි විට අප සිතට නිතැතින්ම සිහිවන්නේ බුදු පියාණන් ය. අසරණ සිතට සවියක් වන්නට බුදු පියාණන් දෙසූ දහම් බිදකට හැකි ය. වත්මන් සමාජය තරගකාරී බවින් මිරිකී සතුට සැනසීම තුරන් වී ඇත. ආත්මාරථයෙන් පිරුණු සියල්ලන්ම ජීවන තරගයේ නිරත වෙති.

පිහිටක් නැති සරණක් නැති
සතුටක් ඇති මුහුණක් නැති
මේ සසර දනව්වේ
අපි අසරණ වෙලා වගේ
සිතට දැනෙනවා
බුදු හාමුදුරුවනේ...

    මලක් සුවද හමන්නේ පරවන තුරු පමණි, ගංගාවක මහිමය ඇත්තේ ජලය ගලායන තුරු පමණි, තරුණ කළ පවතින සවිය මහලුවන විට කෙමෙන් සිදී යයි. සියල්ල අනිත්‍ය ලෝකය තුල නිත්‍යව පවතින්නේ දුන් දේ මහිමය පමණකි.

මලේ සුවද නැතිවෙයි පෙති හැලුනාම
ගතේ රුසිරු නැතිවෙයි රැලි වැටුනාම
ගගේ මහිම නැතිවෙයි දිය සිදුනාම
දුන් දේ සුවද පවතී ලොව සැමදාම...

    කුඩා කලම ජීවිතයේ අනිත්‍ය බව වටහාගත් පුංචි සාමණේරවරු තවමත් සිටින්නේ දගකාර කෙළි සමයේ ය. දෙමාපියන්, යහලුවන් සමග ගෙවූ කාලය තවමත් සිට එන්නේ ඒ දගකාරකම ද ඉස්මතු කරමින් ය. පෙර පරිදි සෙල්ලමට ගියත් දැන් සියල්ල වෙනස් වී ඇත. දකින සියල්ලන්ම දෙපතුල් වන්දනා කරයි. ඉතින් කෙසේ නම් සෙල්ලම් කරන්නද?

...එහෙම ගියත් ඒ අය පොඩි සාදූ
කියා කියන විට වැද වැටිලා
කොහොමද අම්මේ ඔට්ටු දුවන්නේ
වෙල් ඉපනැල්ලේ පැන නටලා...

    ගිහියන්ට බුදු දහමේ රසය සපයන ස්ථානය වන්නේ පන්සලයි. අතීතයේ සිටම මිනිසුන්ගේ සෑම කටයුත්තකදීම මූලිකත්වය ගෙන කටයුතු කිරීමට පන්සල මැලි නොවෙයි. ජාතියේ, ආගමේ අනාගතය රැදී තිබෙන්නේ පන්සල නිසාවෙනි.

ගමේ පන්සල අපේ පන්සල
අපේකම රැක්කා
අපේ දානෙදි අපේ මරණෙදි
අපේ ළග හිටියා...


    මේ ආකාරයට ආගමිකත්වය අරමුණු කරගෙන එකිනෙකට වෙනස් වූ කරුණු අරමුණු කරගෙන ලියැවුණු ගීත බොහෝමයකි. ඒවා කෙතරම් සාර්ථකව පබැදී, සංගීතය සමග මුසු වී ඇත්දැයි සොයාබැලීම වටී.

ලිපිය සකස් කිරීම - තරූ මධුසංක

Visit FB Group Post

2 comments:

  1. බෞද්ධකමට නිගා දෙන්නවුන් ආගමද රැල්ලට අදහන්නන් ගෙන් පිරි මේවන් යුගයක සෑබෑ බෞද්ධයෙක් වූ ඔබේ මේ අර්ථ දැක්වීම ඉතාමත් ම අගය කරන්නෙමි. මෙවන් වටිනා ලිපි ඉදිරියටත් අපි බලාපොරොත්තුවෙන් සිටින්නෙමු. තෙරුවන් සරණයි මිතුර !

    ReplyDelete
    Replies
    1. ඔබගේ ප්‍රතිචාරයට ස්තූතියි.

      Delete