Sunday, December 3, 2017

ගී රස වින්දනය 05 - උපදේශාත්මක ගීත විචාරය



    ගීතයක් යනු හදවතට ආමන්ත්‍රණය කළ හැකි සාර්ථක මාධ්‍යයකි. අද වන විට එය එසේ නොවුනත් පැරණි ගීත විමසා බලන විට දැකිය හැකි තවත් පද රචනාවන්ට පාදක වූ මාතෘකාවක් නම් උපදේශණයයි. ගීතය තුලින් සියුම් ලෙස කුඩා දරුවාගේ සිට වැඩිහිටි පුද්ගලයා දක්වා කාන්තා පිරිමි දෙගොල්ලන්ටම ලබා දී ඇති උපදෙස් විමසා බැලීම වටී.
   

    නව යොවුන් වියට පා තබන දරුවන් සිතන්නේ ඔවුන් සමාජය පිළිබද අවබෝධයක් ලබා ඇති බවය. නමුත් ඔවුන් තුල ඇති අනවබෝධය පිළිබද වටහා ගන්නේ සමාජය හා ගැටී ඒ තුළින් වසර ගණනාවක අත්දැකීම් ලද අප වැඩිහිටියන් ය. පුද්ගලයෙකුගේ ජීවිත කාලය අවමය වසර හැටක් ලෙස ගතහොත් අවුරුදු 15, 20 වියැති නව යෞවනයෙකුගේ ඉදිරිය ඉතා දුර බැහැර ය. යෑමට තව බොහෝ දුරක් ඉතිරි වී ඇත. ඔවුන් සමාජය හා ගැටීමට පා තැබුවා පමණි.  ඉදිරි මග ඇත්තේ තැනිතලා මාර්ගයක් නොව අනේක වූ උස් පහත් වීම් හා විවිධාකාර වූ පුද්ගලයන් ය. එම බාධාවලට  සවිමත් සිතින් මුහුණ දී ඇසුරු කල යුත්තන් තෝරා ගැනීම නැණවත්ව කළ යුතු වේ. නුවණ යොදවා ඉදිරිය ජය ගැනීමේ වගකීම ඇත්තේ ද ඔවුන්ටම ය.

...ආ මග කෙටියි - යා යුතු මග දුරයි
නිරතුරු නුවණැසින් - තරණය කළ යුතුයි
මේ ඇරඹුමයි - මාවත බෝ දුරයි
නුවණින් අවදියෙන් -  යා යුතු බව දනිම්...

    ජීවිතයට මුහුණ දීමට තිබිය යුතු වටිනාම මෙවලම අධ්‍යාපනය යි. පාසලෙන් කට්ටි පනිනා ළමුන් හට අනාගතයේ දී දුක් වීමට සිදු වේ. ඉගෙන ගැනීමට ඇත්තේ ළමා වියේ දී පමණි. එම කාලය තුල දී දැනුමෙන් සන්නද්ධ වන පුද්ගලයා හට අනාගතය ජීවිතය පහසුවනවා නොඅනුමාන ය. "උගතමනා ශිල්පයමයි මතු රැකෙනා" යන පාඨය ස්ථිර කරමින් නන්දා මාලනිය විසින් ගැයෙනා "අයන්න කියන්න" ගීතය එයට හොද නිදසුනකි.

...කාසි පණම් හිටි හැටියේ
සතුරෝ ගෙන යති රහසේ
පොතින් පතින් ලද දැනුමේ
ධනය සදාකල් සුරුකේ...

    නමුත් ජීවිතය ගෙන යාමට දැනුම පමණක්ම ප්‍රමාණවත් නොවේ. පෙර කී පරිදි නුවණ යොදා ඇසුරු කළ යුත්තන් තෝරා ගැනීම ඉතා වැදගත් ය.  බුදු රදුන් දෙසා ඇති  "න භජේ පාපකේ මිත්තේ - න භජේ පුරිසාධමේ" (පවිටු මිතුරු ඇසුරට නොම ගන්නේ - නපුරු දුදන ඇසුරට නොම යන්නේ) දහම් පදය සිහි ගන්වමින් සුනිල් ආරියරත්නයන් අතින් ලියවුණු "මල්ලියෙ නරක මිතුරන් පිළිගන්න එපා - නංගියේ නොහොබිනාකම් හුරු වෙන්න එපා" ගී පද වැල් මහගු උපදෙසක් සපයයි. පිරිමි ළමයෙකු වේවා ගැහැණු ළමයෙකු වේවා තමන් ඇසුරු කරන්නන් පිළිබද නිති සැලකිලිමත් නොවුනහොත් ලැබෙන ප්‍රතිපල යහපත් නොවනු ඇති බැව් සිහියේ තබාගැනීම අත්‍යාවශ්‍ය වේ. නිසි මග පෙන්වීම නොලැබුනහොත් අවසානය සිරගෙයින් අවසන් වීමට ඇති ඉඩකඩ වැඩි ය. දෙයක් සිදු වූවාට පසු ඒ පිළිබද පසුතැවිලි වීමට වඩා මුල දී සිතා බලා ක්‍රියා කිරීම වටින්නේ ඒ නිසා ය.

...ලැබුවේ අවවාද නොහොබින ආරකය
දුදනන් නිසා විය සෙනසුරු මාරකය
මම පෙර ගියේ වරදින් පිරි පාරකය
ඒ ගිය මගේ අවසානය පෝරකය...

    දෙන දෙයක් කා වෙන දෙයක් බලා සිටීම අතපය දැඩි වූ තරුණයෙකුට තරම් නොවේ. නමුත් පාරේ තොටේ, කඩපිල් යට රැස්ව නිකරුණේ කාලය ගත කරනා තරුණයන් කොතෙකුත් දැක ගත හැක. තමන්ගේ වෙර වීරියෙන් හරි හම්බ කර තම දෙමාපියන් රැක බලා ගත යුතු ඔවුන් මේ ලෙස කාලය කා දමනු දැකීම වැඩිහිටියන්ට ඉහිලුම් නොදෙයි.

... අම්ම අප්ප මොක මොකවත්
කන්න බොන්න දුන් පලියට
ලැජ්ජ නැද්ද කාලෙ කන්නේ
ගැටවරයිනි කඩපිල්වල...

උපදේශාත්මක ගී සදහා තවත් බොහෝ උදාහරණ ලබා දිය හැක.
    * දුවේ නුඹ මගෙ ප්‍රාණයයි
    * චන්ද්‍ර මණ්ඩලේ සැතපුණු
    * ගගට කපන ඉනි

    සමාජයට වැදගත් පණිවුඩයක් ලබා දීම සදහා පෙර පද රචකයන්ට තිබූ හැකියාව සහ වුවමනාම අද සිටිනවුන්ට නැති වී යාම මුලු මහත් සමාජයේ ම අවාසනාවකි.

ලිපිය සකස් කිරීම - තරූ මධුසංක

Visit FB Group Post

4 comments:

  1. මෙන්න අතිසුපිරිම වැඩක් තරූ ගෙන් .. හැමදාම නෑ .. හැමතැනම නෑ .. නියම විග්‍රහයන් පෙළක් ! ඉදිරියටත් මේවගේ Professional ලිපි දිගටම ලියන්න .. Cheers !

    ReplyDelete
    Replies
    1. ඔබගේ ප්‍රතිචාරයට ස්තූතියි.

      Delete