Tuesday, December 5, 2017

Time Signature



බටහිර සංගීතයේදී ස්වරයකට අක්ෂර නාමයක් (Letter Name) මෙන්ම කාල නාමයක් (Time Name) ද ලබාදී ඇත. මෙයට හේතුව වන්නේ : ස්වරය කුමක්ද කියන කාරණය මෙන්ම එම ස්වරය වාදනය වන කාලය කොපමණද යන්න දැක්වීම බටහිර ප්‍රස්තාරකරණයේදී අවශ්‍ය වන බැවිනි. ප්‍රායෝගිකව සංගීත ඛණ්ඩයක ස්වර වාදනය වන කාලය කෙරෙහි එම සංගීත ඛණ්ඩයේ Time එක සහ වේගය (Tempo) ඍජුවම බලපායි. බටහිර ප්‍රස්තාරකරණයේදී ස්වරයක කාලය දැක්වීමට නම් කාල වටිනාකම් (Time Values) සහ ඒවාට අනුරූප සංකේත භාවිතා කරමින් ස්වරය සංකේතාත්මක ලෙස ලිවීම අනිවාර්ය වේ. අපි අද කතාකරන කරුණු කාලය (Time) හා සම්බන්ධ නිසා, වාදනය වන කාලය අනුව ස්වර වලට දී ඇති කාල නාම (Time Names) මොනවාදැයි විමසමු. ඒ කාල නාම ඇති ස්වර වාදනය වන කාලය මනින්නේ කෙසේද යන්න ඊළඟට සොයාබලමු. 


බටහිර සංගීතයේදී ස්වර සඳහා දී ඇති කාල නාම (Time Names) පහතින් දක්වා ඇත:
සෙමිබ්‍රීව් - Semibreve
මිනිම් - Minim
ක්‍රොචට් - Crotchet
ක්වේව(ර්) - Quaver
සෙමික්වේව(ර්) - Semiquaver
ඩෙමිසෙමික්වේව(ර්) - Demisemiquaver

Image may contain: text

මෙම කාල නාම වලට අදාල සංකේත පහත image එකෙහි දක්වා ඇත. දැන් අපි Time Names ගැන සොයාබලමු.

* යම් ස්වරයක් සැලකූ විට (මෙම ස්වරය C හෝ D හෝ කුමක් හෝ අක්ෂර නාමයක් සහිත ස්වරයක් විය හැක) එම ස්වරයට වාදනය විය හැකි උපරිම කාලයක් පවතී. මෙම කාලය තුල වාදනය වන ස්වරයට දී ඇති කාල නාමය Semibreve ලෙස හඳුන්වයි; එම නිසා අද වන විට Semibreve ස්වරය සංගීතයේ වැඩිම කාලයක් වාදනය වන ස්වරය බව පිළිගැනේ.
(මෙසේ කීමට හේතුව වන්නේ අතීතයේ වැඩිම කාලයක් වාදනය වූ ස්වරය ලෙස නම් කර තිබුණේ බ්‍රීව් (Breve) ස්වරයයි. එය Semibreve වාදනය වූ කාලය මෙන් දෙගුණයක කාලයක් වාදනය විය)

* ඊළඟට ඇත්තේ Minim ස්වරයයි. Semibreve වාදනය වන කාලය මෙන් 1/2 ක් Minim ස්වරය වාදනය වේ. එනම්, Semibreve එකෙන් 1/2 ක් Minim එකකට තුල්‍ය වේ. මෙලෙසම,
* Semibreve එකෙන් 1/4 ක් Crochet එකකට තුල්‍ය වේ.
* Semibreve එකෙන් 1/8 ක් Quaver එකකට තුල්‍ය වේ.
* Semibreve එකෙන් 1/16 ක් Semiquaver එකකට තුල්‍ය වේ.
* Semibreve එකෙන් 1/32 ක් Demisemiquaver එකකට තුල්‍ය වේ.
(මෙම කාල ප්‍රමාණයන් 1/2 1/4 1/8 1/16 1/32 වශයෙන් ඇති බව ඔබට පේනවා ඇති. අප භාවිතා කරන මුදල් වලද 1, 2, 5, 10, 20, 50, 100, 500, 1000, 5000 ලෙස අගයන් හඳුන්වා දී ඇති සේම සංගිතයේ කාල ප්‍රමාණයන් සඳහා මෙම අගයන් ම හඳුන්වා දී ඇත.)

දැන් මේ නම් වලින් හඳුන්වන ස්වර වාදනය වන කාලය මනින්නේ කෙසේද යන්න විමසමු. සංගීතයේ දැක්වෙන කාලය යන්න මැනීමට භාවිතා කරන සම්මත මිනුම් ඒකකය "මාත්‍රාව" (Beat) වේ. (Beat යන්නට තවත් තේරුමක් ද ඇති අතර එය පසුව පැහැදිලි කරගමු.)

ඉහත සඳහන් කල පරිදි Crotchet ස්වරය වාදනය වන්නේ Semibreve ස්වරය වාදනය වන කාලය මෙන් 1/4 කි. මෙම 1/4 ක කාලය "Crotchet මාත්‍රා" එකක් ලෙස අර්ථ දක්වමින් ඊට සාපේක්ෂව අනෙක් ස්වරවල කාල වටිනාකම් (Time Values) ප්‍රකාශ කිරීම සාමාන්‍යයෙන් සිදුවේ. ඒ අනුව:

Semibreve එකක කාල වටිනාකම Crotchet මාත්‍රා 4 කට තුල්‍ය වේ.
Minim එකක කාල වටිනාකම Crotchet මාත්‍රා 2 කට තුල්‍ය වේ.
Crotchet එකක කාල වටිනාකම Crotchet මාත්‍රා 1 කට තුල්‍ය වේ.
Quaver එකක කාල වටිනාකම Crotchet මාත්‍රා 1/2 කට තුල්‍ය වේ.
Semiquaver එකක කාල වටිනාකම Crotchet මාත්‍රා 1/4 කට තුල්‍ය වේ.
Demisemiquaver එකක කාල වටිනාකම Crotchet මාත්‍රා 1/8 කට තුල්‍ය වේ.

සංගීත ඛණ්ඩයක Time එක කුමක්ද යන්න ප්‍රකාශ කිරීම සඳහා යෙදුමක් හඳුන්වා දී ඇත. මෙය ටයිම් සිග්නේච(ර්) (Time Signature) ලෙස නම් කරයි. බටහිර ප්‍රස්තාරකරණයේදී Time Signature එක ලියන්නේ ඉලක්කමක් යට ඉලක්කමක් පිහිටන ලෙසය. හරියට භාග සංඛ්‍යාවක් මෙනි. උදාහරණයක් ලෙස - අප හොඳින් දන්නා 3/4 Time එක මෙසේ බටහිර ක්‍රමයට ලියනවිට තුන යට හතර ලෙස ලියනු ලබයි. 

මෙසේ ලියන Time Signature එකක උඩ ඉලක්කමෙන් [Upper Figure - අප(ර්) ෆිග(ර්)] එක Bar එකකදී ගණන් කළ යුතු මාත්‍රා ගණන කියවෙන අතර යට ඉලක්කම [Lower Figure - ලෝව(ර්) ෆිග(ර්)] වැදගත් වෙන්නේ, අදාල Time එකට අනුව මාත්‍රාවක් ලෙස සැලකෙන්නේ කුමන කාල වටිනාකමක් ඇති ස්වරය ද යන්න සොයාගැනීමටයි. එක් එක් Time එක අනුව මාත්‍රාව හැටියට ගන්නා ස්වරයේ කාල වටිනාකම වෙනස් විය හැකි බැවිනි. සංගීතයදී එක් Bar එකකට නිශ්චිත මාත්‍රා ගණනක් අයත් වන සේ නිර්මාණය වී ඇති Times ඇති අතර අපි දැන් Times කිහිපයක් ගෙන ඒවා ගැන මේ කරුණු ඇසුරින් සාකච්ඡා කරමු. 

3/4 Time 
මෙම Time එකෙහි Time Signature එක මෙසේ ලියනු ලබයි: 3/4 - මෙය විහිදුවා ලියූ විට මෙසේ වෙයි:
3 x 1/4
මෙහි 3 මගින් කියවෙන්නේ එක Bar එකකට ගණන් ගැනෙන මාත්‍රා ගණන තුනක් බවයි. 1/4 යන්නෙහි අර්ථය මෙසේ වෙයි. එනම්, සංගීතයේ වැඩිම කාලයක් වාදනය වන Semibreve ස්වරයේ වටිනාකමින් 1/4 ක වටිනාකමක් හිමි Crotchet ස්වරය, මෙම Time එකට අනුව එක් මාත්‍රාවක් ලෙස සැලකෙන බවයි. ඒ නිසා 3/4 Time එකේදී එක Bar එකකට Crotchet මාත්‍රා තුනක් ගණන් ගැනේ.

3/4 Time එකට යන සංගීතයේ ස්වභාවය වටහා ගැනීම සඳහා පහත ගීත කොටස බලන්න.
| 1 2 3 | 1 2 3 | 1 2 3 | 1 2 3 |
| ර න් ටි | කි රි සි | නා - - | + + + |

4/4 Time
මෙම Time එකෙහි Time Signature එක මෙසේ ලියනු ලබයි: 4/4 - මෙය විහිදුවා ලියූ විට මෙසේ වෙයි:
4 x 1/4
මෙහි 4 මගින් කියවෙන්නේ එක Bar එකකට ගණන් ගැනෙන මාත්‍රා ගණන හතරක් බවයි. 1/4 යන්නෙහි අර්ථය මෙසේ වෙයි. එනම්, සංගීතයේ වැඩිම කාලයක් වාදනය වන Semibreve ස්වරයේ වටිනාකමින් 1/4 ක වටිනාකමක් හිමි Crotchet ස්වරය, මෙම Time එකට අනුව එක් මාත්‍රාවක් ලෙස සැලකෙන බවයි. 4/4 Time එකේදී එක Bar එකකට Crotchet මාත්‍රා හතරක් ගණන් ගැනේ.

සරල 4/4 Time එකට යන සංගීතයේ ස්වභාවය වටහා ගැනීම සඳහා පහත ගීත කොටස බලන්න.
| 1 2 3 4 | 1 2 3 4 | 1 2 3 4 | 1 2 3 4 |
|හි මි නැ ති | පෙ ම ක ට | ඉ කි බි ඳ |හැ ඬු ම ට|

නමුත් 4/4 ගීතයක BPM (beats per minute) අගය සොයාගැනීමට නම් සම්මත ආකාරයට අනුව 4/4 Time එකෙහි මාත්‍රා ගණන් කර ගැනීම වැදගත් වේ:

| 1 2 3 4 | 1 2 3 4 |
| හිමි නැති පෙම කට | ඉකි බිඳ හැඬු මට |

නමුත් මෙම ක්‍රමය අනුව ගීතයක් පෙරදිග ප්‍රස්තාරගත කිරීමේදී එක් Bar එකකට තරමක් වැඩියෙන් ස්වර ලිවීමට සිදුවන නිසා ප්‍රස්තාරය එකවරම තේරුම් ගැනීමට අපහසු වනු ඇත. විශේෂයෙන්ම මාත්‍රා 4න් පංගුවේ ස්වර තිබේ නම් එය තවත් සංකීර්ණ වේ. 

6/8 Time
මෙම Time එකෙහි Time Signature එක මෙසේ ලියනු ලබයි: 6/8 - මෙය විහිදුවා ලියූ විට මෙසේ වෙයි:
6 x 1/8
මෙහි 6 මගින් කියවෙන්නේ එක Bar එකකට ගණන් ගැනෙන මාත්‍රා ගණන හයක් බවයි. 1/8 යන්නෙහි අර්ථය මෙසේ වෙයි. එනම්, සංගීතයේ වැඩිම කාලයක් වාදනය වන Semibreve ස්වරයේ වටිනාකමින් 1/8 ක වටිනාකමක් හිමි Quaver ස්වරය, මෙම Time එකට අනුව එක් මාත්‍රාවක් ලෙස සැලකෙන බවයි. 6/8 Time එකේදී එක Bar එකකට Quaver මාත්‍රා හයක් ගණන් ගැනේ.

6/8 Time එකට යන සංගීතයේ ස්වභාවය වටහා ගැනීම සඳහා පහත ගීත කොටස බලන්න.
| 1 2 3 4 5 6 | 1 2 3 4 5 6 |
| ව සන් - ත යේ - | ම ල් කැ කු ළ යි |

* විවිධ කාල වටිනාකමින් යුත් ස්වර වාදනය කිරීමට හුරුවෙන්න. එමෙන්ම විවිධ Times වල යන ගීත වලට සවන් දෙමින් ඒ සමඟම Bar එකෙන් Bar එකට මාත්‍රා ගණන් කිරීමට (count) පුරුදුවෙන්න. එවිට ඔබට මෙහි ප්‍රායෝගික පැත්ත පිළිබඳව තරමක් හොඳින් වැටහෙනු ඇත.

සැලකිය යුතුයි : සමහර අය විසින් Time සහ Beat කියන කාරණා පටලවාගෙන ඇති බවක් පෙනේ. 3/4 4/4 6/8 ලෙස හඳුන්වන්නේ Beat එක නොව Time එකම වේ. Beat යන්නෙහි තේරුම් දෙකක් ඇත. එකක් නම් සංගීතයේ කාලය මැනීමට යොදාගන්නා "මාත්‍රාව" (Beat) නම් ඒකකයයි. අනෙක නම් කුමක් හෝ Time එකකට අනුගතව යම් කම්පන සංගීත භාණ්ඩයකින් (Percussion Instrument) නිකුත් කරන වාදනය යන්නයි. 




















යම් කිසි අදහසක් ඔබට ලබා ගැනීමට හැකි වුනා යැයි සිතමි.

ස්තූතියි !


ලිපිය සකස් කිරීම - ප්‍රමෝද් බුද්ධික මහත්මා‍

Visit FB Group Post

2 comments:

  1. අනේ මහත්මයා කියන්න ඕනියැ මං සාමාන්‍ය කොල්ලෙක්නේ

    ReplyDelete