Sunday, December 3, 2017

ගී රස වින්දනය 04 - දේශාභිමානී ගීත විචාරය

    
ගේය පද රචනා පිළිබදව විමසා බලන විට හමුවන තවත් විශේෂිත වූ මාතෘකාවක් ලෙස දේශාභිමානී ගී හදුන්වන්න පුලුවන්. වර්තමානය වන විට මේ මාතෘකාව ඔස්සේ ගීත ලියවෙන්නේ නැති තරම්.



    දේශාභිමානී ගී පිළිබදව කතා කරද්දි එක් ගීතයක් විශේෂ කොට හදුන්වන්න හැක. එනම් "ලක් වැසියන් කෙරෙහි නැමී" යන ගීතය. මෙහි විශේෂත්වය නම් මෙම පද රචනය ගීතයක් සදහා නොව හුදෙක් කවි පන්තියක් සදහා ටිබෙට් ජාතික එස්. මහින්ද හිමියන් පබැදූවක් වීමයි. මෙය අද සුනිල් එදිරිසිංහයන්ගේ මියුරු කටහඩින් ගීතයක් ලෙස සවනට වැටීම සුවිශේෂත්වයක්. ජාතිය ආගම පිළිබදව කුඩා දරුවන්ගේ සිත් සතන් තුලට හැගීමක් ඇතුල් කරන්නට එම ළයාන්විත ගීතය සමත් ය.

... තමන් ලැබූ දිවි පෙවෙතේ
කොටසක් රට සමය වෙතේ
පුද නොකලොත් නුඹෙන් පුතේ
මෙලොවට කිසි පලක් නැතේ ...

    ලංකා දීපයට සමාන කළ හැකි වෙනත් රටක් ලොව තුල තවත් ඇත්ද? මේ පුංචි දේශය තුලින් අප ලද දේ කොපමණක්ද? එහි වටිනාකම වෙන රටකට කෙසේ නම් සමාන කරන්නද? ලොවේ අන් ජාතීන් අප රට අල්ලා ගැනීමට ඈත අතීතයේ  සිටම දතකන්නේ කුමක් නිසාද? අපේ රටේ වටිනාකම නිසාම ය. මෙය "ලොවක් ලොබ බැදුනු දේශය" යි.

... රුවන් නිදන හෙළ බිමයි
නුවන් හදන හෙළ බිමයි
නිවන් පුදන හෙළ බිමයි
ලොව හෙලි කල හෙළ බිමයි ...

    දෙදහස් පන්සිය වසරක උරුමයෙන් සැදි ලක්දිව පුරා දැකිය හැක්කේ අපේ අනන්‍ය වූ සංස්කෘතිය යි. එමනිසා " ජනිත වූ හැම මෙම පොළවේ - නිති ආඩම්බර විය යුතු වේ "  නොවේද? එම ආඩම්බරකම සිත තුල දරාගෙන කලින් කලට නොයෙක් පරසතුරු ආක්‍රමණයන්ට නොබියව මුහුණ දී දිවි පුදා මාතෘ භූමිය රැක ගත් මහා විරුවන් අප කෙසේ නම් අමතක කරන්න ද? ඒ විරුවන් පිළිබදව කතා නොකර කෙසේ නම් දේශාභිමානය ගැන උදම් අනන්නද? මේ පොළව සාරවත් වී ඇත්තේ  එදාමෙදාතුර ජාතික විරුවන් ලක්දිව වෙනුවෙන් හෙලූ රුහිරෙනි.

... ආදි සිංහලේ වීර මීමුතුන් ලෙයින්
සාර වූ උදාර වූ මාතෘ භූමියයි ...

    අතීතය ඒ අයුරු වූ නමුත් වර්තමානය? එය බොහෝ සේ වෙනස් වී පවතී. අතීතයේ සිටි වීරයන් අද බොහෝ සෙයින් අඩු වී ඒ වෙනුවට පරගැති, ආත්මාර්ථකාමී දීනයන් බිහිවී ඇත. නන්දා මාලනියන් "අද පමණක් නොවේ අපට හෙටක් තියෙනවා" යනුවෙන් ගායනා කලේ අපගේ රට රැක ගැනීමට අපට ඇති වගකීම සිහිගැන්වීමට ය. පෙර විරුවන් දිවි පුරා රැක දුන් උතුම් මාතෘභූමියෙන් පෝෂණය වී එයටම පිටුපානා අයවලුන්ගෙන් රටට කුමන නම් පලක්ද?

... එතෙරක හෙළ බොජුන් එපා
රන් සලුපිළි යහන් එපා
උපන් රටට පිටුපානා
හෙළයන් හෙළ බිමට එපා ...

    මේ ආදී එකීනොකී දේශාභිමානී ගී තුලින් සිත් තුල ප්‍රෞඩත්වය, දේශාභිමාන්‍ය, ජාත්‍යාලය ඇති කිරීමට සරල ගේය පද රචනා මෙන්ම සංකීර්ණ පද රචනා ද දක්නට හැකි බව වැටහේ. කෙසේ වුව ද බොහෝ සෙයින්ම සරල අර්ථ පද රචනා තුලින් බාල මහලු කාටත් ඉහත කී හැගීම් උද්දීපනය කිරීමට උත්සාහ දරා ඇත.  එසේම ඒ සදහා භාවිතා කර ඇති සංගීතය මුසුව ද එම හැගීම් උද්දීපනය කිරීමට මනා අත්වැලක් සපයා ඇත.

ප.ලි. මෙම මාතෘකාවට සමගාමීව රණවිරු ගී පිළිබදව ද ඉදිරියේ දී ලිපියක් ලිවීමට බලාපොරොත්තු වන බැවින් ඒ පිළිබද උදාහරණ මෙහි දී සුලු ප්‍රමාණයක් පමණක් දක්වා ඇත.

ලිපිය සකස් කිරීම - තරූ මධුසංක

Visit FB Group Post

9 comments:

  1. ඇත්ත කතාව යාලුවේ .. හිත හොඳ නැති මිනිස්සු මොළයක් නැති මිනිස්සු රට පාවාදේවි, පහතට දාවි, අපිටම බනීවී, ඒත් ඔයා මම සහ මේ රන්දෙරණේ අගය දන්න අපි එවුන් එක්ක කළකෝලහාලයට නොයා හැමවෙලාවෙම අපි උපන් මේ "ශ්‍රී ලංකා මාතාවට" ගෞරවයක් වෙන්න ජීවත් වෙන්න ඕනි ..

    ReplyDelete
    Replies
    1. ඔබගේ ප්‍රතිචාරයට ස්තූතියි.

      Delete
  2. Thnks a lot Your work

    ReplyDelete