Tuesday, December 5, 2017

රාග ගැන සරල පැහැදිලි කිරීමක්


රාග ගැන අපිට අසන්නට ලැබෙන්නේ හින්දුස්ථානි සංගීත පද්ධතිය තුලයි. ඒ කියනේ උත්තර භාරතීය සංගීත සම්ප්‍රදාය සහ දක්ෂිණ භාරතීය කර්ණාටක සංගීත සම්ප්‍රදාය තුල රාග ගැන සාකච්ඡා වෙනවා. සරලවම කිව්වොතින්, බැලු බැල්මට රාගයක් කියන්නේත් එක්තරා අයුරකින්, බටහිර සංගීතයේ එන අන්දමේ Scale එකක්. නමුත් බටහිර සංගීතයේ Scale එකකත් රාගයකත් අතර බොහෝ වෙනස්කම් තියනවා. එබැවින් මෙම රාග, බටහිර සංගීතයේ Scale එකකට පනවා ඇති නීති රීති වලට යටත් නැහැ.
Scales සමඟ රාග ගැන කතා කිරීමට අදහස් කලේ, සංගීතයට උනන්දුවක් ඇති බොහෝ දෙනාට Scales ගැන 
යම් පමණ දැනුමක් ඇති නිසා.

Scales ගැන කතා කරන විට, ප්‍රධාන වශයෙන්
1. Major Scales
2. Natural Minor Scales
3. Harmonic Minor Scales
4. Melodic Minor Scales
ලෙස කොටස් 4 ක් තියනවා.
වෙනත් ආකාරයේ එනම් Penta-tonic (Major සහ Minor) Scales, Diminished Scales . . . , ආදී ලෙසින් ඇති Scales ගැනත් සලකා බැලූ විට, Scales වර්ග උපරිමව 50ක් විතර ඇතැයි හිතෙනවා.
(මම මේ ගැන ගණන් බැලුවේ නැහැ. දන්නා කෙනෙක් මේ ගැන comment එකක් යොමු කරන්න) 

ඉතින් C හෙවත් “ස” ස්වරය මුලික කරගෙන මෙම Scales ගොඩ නැගූ විට අපිට ලැබෙන්නේ කලින් කිව්වා වගේ Scales 50ක් විතර. C සිට B දක්වා ඇති ස්වර 12 ම මුලික ස්වරය ලෙසින් ගෙන වාදනය වුනත් Scale එකක සිද්ධාන්තය වෙනස් වෙන්නේ නැහැ. සිදුවන එකම දේ Pitch හෙවත් ස්වරමානය වෙනස් වන එක විතරයි. 

නමුත් රාගයක් ගත්කල එහි මූලික කරගන්නේ C හෙවත් “ස” ස්වරය පමණයි. ඒ කියන්නේ අනිකුත් ස්වර 11න් යම් ස්වරයක් මුල් ස්වරය වශයෙන් ගෙන සෑදෙන රාග හින්දුස්ථානි සංගීතයේ දක්නට නැහැ. එසේ හඳුන්වා දී ඇති රාග එක්දහස් ගණනක් තියනවා ! මේ හැම රාගයක්ම එකිනෙකට වෙනස්.එතකොට එක රාගයක් එක scale එකක් ලෙස සැලකු විට එකිනෙකට වෙනස් scales දහස් ගණනක් අපිට අසන්නට ලැබෙනවා. 

සෑම විටම රාග නියෝජනය කරන්නේ ස්වභාව ධර්මයයි. ඒ කියන්නේ, වෙන් කිරීමට නොහැකි ලෙස අවට පරිසරය සමඟ මෙම රාග බද්ධ වී තමයි පවතින්නේ. රාගයක් අසන විට අනිවාර්යයෙන් සොබා දහමත් සමඟ මුසු වුන සිතුවමක් මනසේ ජනිත වෙනවා. 

 අපි දැන් රාග වල ප්‍රධාන ලක්ෂණ සාකච්ඡා කරමු.

1.රාගයකට ආරෝහණ (Ascending) සහ අවරෝහණ (Descending) චලනයක් තියනවා.
“ආරෝහණ” ලෙස අදහස් කරන්නේ රාගයේ ස්වර පද්ධතිය සමස්තයක් ලෙස ස්වර සංඛ්‍යාතය අඩු ස්වරයේ සිට ස්වර සංඛ්‍යාතය වැඩි ස්වරය දක්වා ඉහල නැගීමයි. මෙහිදී “සමස්තයක් ලෙස” කීවේ, ඇතැම් රාග වල ආරෝහනයෙදී ඇතැම් ස්වර ඉහලට නැගගෙන ගොස් නැවත ස්වර කිහිපයක් පහලට බැස, නැවත ඉහලට නගින ආකාරයක් දක්නට ලැබෙන නිසාය.
(ඇතැම් කෙනෙක් මෙය මධ්‍ය "ස" සිට උච්ඡ "ස" දක්වා ඉහල නැගීම කියාද අර්ථ දක්වා තිබෙනවා. නමුත් එම ස්වර පරාසයෙන් එහා ස්වර ගමන් කරන අයුරු ඇතැම් රාග වලදී දක්නට ලැබෙනවා )
“අවරෝහණ” ලෙස අදහස් කරන්නේ රාගයේ ස්වර පද්ධතිය සමස්තයක් ලෙස ස්වර සංඛ්‍යාතය වැඩි ස්වරයේ සිට ස්වර සංඛ්‍යාතය අඩු ස්වරය දක්වා පහල බැසීමයි. මෙහිදී “සමස්තයක් ලෙස” කීවේ, ඇතැම් රාග වල අවරෝහනයෙදී ඇතැම් ස්වර පහලට බැසගෙන ගොස් නැවත ස්වර කිහිපයක් ඉහලට නැග, නැවත පහල බසින ආකාරයක් දක්නට ලැබෙන නිසාය.
(ඇතැම් කෙනෙක් මෙය උච්ඡ "ස" සිට මධ්‍ය "ස" දක්වා පහල බැසීම කියාද අර්ථ දක්වා තිබෙනවා. නමුත් එම ස්වර පරාසයෙන් එහා ස්වර ගමන් කරන අයුරු ඇතැම් රාග වලදී දක්නට ලැබෙනවා )

2.රාගයක ආරෝහණයේදී සහ අවරෝහණයේ දී යෙදෙන ස්වර ප්‍රමාණයන් අනුව එම රාගයේ ජාතිය හෙවත් “ජාති”තීරණය කල හැක.
ඒ අනුව “ජාති” පහත අයුරින් වර්ග කර දක්වා ඇත.
ආරෝහණ ස්වර 7 යි. අවරෝහණ ස්වර 7 යි : සම්පූරණ- සම්පූරණ
ආරෝහණ ස්වර 7 යි. අවරෝහණ ස්වර 6 යි : සම්පූරණ- ශාඩව
ආරෝහණ ස්වර 7 යි. අවරෝහණ ස්වර 5 යි : සම්පූරණ- ඖඩව
ආරෝහණ ස්වර 6 යි. අවරෝහණ ස්වර 7 යි : ශාඩව - සම්පූරණ
ආරෝහණ ස්වර 6 යි. අවරෝහණ ස්වර 6 යි : ශාඩව - ශාඩව
ආරෝහණ ස්වර 6 යි. අවරෝහණ ස්වර 5 යි : ශාඩව - ඖඩව
ආරෝහණ ස්වර 5 යි. අවරෝහණ ස්වර 7 යි : ඖඩව - සම්පූරණ
ආරෝහණ ස්වර 5 යි. අවරෝහණ ස්වර 6 යි : ඖඩව - ශාඩව
ආරෝහණ ස්වර 5 යි. අවරෝහණ ස්වර 5 යි : ඖඩව - ඖඩව

3.රාගයක යෙදෙන ස්වර පද්ධතිය තුල ප්‍රධාන සහ අනු ප්‍රධාන වශයෙන් ගැනෙන ස්වර 2ක් තියනවා. මෙම ප්‍රධාන ස්වරය “වාදී ස්වරය” ලෙසත් අනු ප්‍රධාන ස්වරය “සංවාදී ස්වරය” ලෙසත් හඳුන්වනවා.

4.වාදී සහ සංවාදී ස්වර හැරුණු විට රාගයේ යෙදෙන අනිකුත් ස්වර “අනුවාදී ස්වර” ලෙස හඳුන්වනවා.

5. රාගයක් තුල ඊට අදාළ ස්වර හැසිරෙන ආකාරය අනුව, එක් එක් රාග තුලින් විවිධ රසයන් මතු වනවා. මෙම රස නිෂ්පත්තියට හෙවත් රාග ලක්ෂණ වලට හානි නොවන පරිදි, රාගයට අදාළ නොවන ස්වර යොදා ගන්නා අවස්ථා තියනවා. එසේ යදාගන්නා රාගයට අයත් නොවන ස්වර වලට “විවාදී ස්වර” යයි කියනවා.

6.රාගයක් ගායනයේදී හෝ වාදනයෙදී එම රාගයට අදාළ නොවන ස්වරයක් යොදාගත්තා යයි සිතමු. එවිට රාගයේ ලක්ෂණ වෙනත් ආකාරයක් ගන්නවා නම් සහ රාගයෙන් ජනිත වන රසය වෙනස් වෙනවා නම්, එම යොදාගත් ස්වරය එම රාගයට කොහෙත්ම ගැලපෙන්නේ නැහැ. එසේ රාගයක ස්වභාවය වෙනතකට හරවන ස්වර “වර්ජ්‍ය ස්වර” ලෙස හඳුන්වන අතර, එසේ ක්‍රියාකාරකමක් දක්වන ස්වර කිසිසේත්ම රාගයකට යොදාගන්නේ නැහැ. “වර්ජ්‍ය” යන නමින්ම එය වැටහෙනවා ඇති. එම ස්වර වර්ජනය කල යුතුය

7.රාගයකට අවම වශයෙන් ස්වර 5ක් වත් තිබිය යුතු යයි නීතියක් තිබෙනවා. ඒ වගේම රාගයකින් සිත රංජනය වන්නම ඕනේ. කියලත් කියනවා. ඒ කියන්නේ රාගයක් ඇසීමෙන් සිතේ අදහස් සමුදායක්, මනෝ චිත්‍රයක්, රසයක් මවෙන්න ඕනේ. එහෙම නැත්නම් එය රාගයක් නෙමෙයි. රාගයක මුඛ්‍ය පරමාර්ථයද එයයි. ස්වර 5ක් හෝ ඊට වැඩිවන විටයි එම ස්වර සංයෝජනයෙන් සිත රංජනය වන්නේ.

8.රාගයක් මේලයකින් උපදින්න ඕනේ කියලත් නීතියක් තියනවා. මේ “මේලය” ගැන අපි පසුව කථා කරමු.

9.රාගයක් ගායනය හෝ වාදනය කිරීමට දවසේ වෙලාව වෙන්කර දී තියනවා. රාගයේ රස සමඟ මේ වේලාවේ සම්බන්ධයක් තියනවා. මේ සංසිද්ධිය ආකාර දෙකකට ගන්න පුළුවන්.
අදාළ වෙලාවට ඒ රාගය ගායනය හෝ වාදනය කල විට එහි උපරිම රසය දැනෙනවා මෙන්ම, දවසේ කුමන හෝ වෙලාවක රාගයක් ගායනය හෝ වාදනය කලද, අසන්නාගේ සිතේ ඒ රාගයට නියමිත වෙලාව සහ පරිසරය ජනිත වන්නට ඕනේ. මේ වේලාවන් පහත පරිදිය
උදේ 6.00 සිට උදේ 9.00 දක්වා කාලය දිවා පළමු ප්‍රහරයයි (ප්‍රථම අදියරයි)
උදේ 9.00 සිට මධ්‍යාහ්න12.00 දක්වා කාලය දිවා දෙවන ප්‍රහරයයි
මධ්‍යාහ්න12.00 සිට සවස 3.00 දක්වා කාලය දිවා තෙවන ප්‍රහරයයි
සවස 3.00 සිට සවස 6.00 දක්වා කාලය දිවා සතරවන ප්‍රහරයයි
සවස6.00 සිට රාත්‍රී 9.00 දක්වා කාලය රාත්‍රී ප්‍රථම ප්‍රහරයයි
රාත්‍රී 9.00 සිට මධ්‍යම රාත්‍රී 12.00 දක්වා කාලය රාත්‍රී දෙවන ප්‍රහරයයි
මධ්‍යම රාත්‍රී 12.00 සිට අළුයම 3.00 දක්වා කාලය රාත්‍රී තෙවන ප්‍රහරයයි
අළුයම 3.00 සිට උදේ 6.00 දක්වා කාලය රාත්‍රී සතරවන ප්‍රහරයයි

10.රාගයකට අදාළ ස්වර සමුහය තුල “ස” ස්වරය අනිවාර්යයෙන්ම අඩංගු විය යුතු අතර “ම” සහ “ප” ස්වර එකවර අත්හැරීම නොකළ යුතුය. ඒ කියන්නේ “ම” සහ “ප” ස්වර දෙකම හෝ එම ස්වර දෙකෙන් එකක් හෝ අනිවාර්යයෙන්ම ස්වර පන්තිය තුල තිබෙන්නට ඕනේ කියන අදහසයි.

11.රාගයක ස්වරූපය සහ එහි විශේෂ ලක්ෂණ විදහා පාමින්, එම රාගය හඳුනා ගැනීමට විශේෂයෙන් උපකාරී වන ස්වර මාලාවට “මුඛ්‍යාංගය” යයි කියයි.
මේ ආකාරයේ ස්වාරමාලාවක් ඇසුණු හෝ ලියා තිබෙනු දුටු විට එම ස්වර මාලාව මේ රාගයේ යයි ක්ෂණයෙන් හඳුනාගත හැකිය. එබැවින් යම් රාගයක මුඛ්‍යාංගයක් වෙනත් රාගයක කොහෙත්ම අඩංගු වන්නේ නැත.

රාග ගැන තවත් වැදගත් කරුණු සමඟ නැවත හමු වෙමු.

ලිපිය සැකසීම - වරුණ බණ්ඩාර මහතා

5 comments:

  1. අඅවුරුදු 30ක් ගියා රාගයක් කියන්නෙ මොකද්ද කියල දැන ගන්න.ඔබට ස්තුතියි ! සන්ගීත සබ්ජෙක්ට් එකත් මම පාස්.කාටවත් බැරි උනා මෙච්චර සරලව මෙය

    පැහැදිලි කරන්න.

    ReplyDelete
  2. බොහොම ස්තුතියි ඔබට🙏🙏🙏🙏❤️

    ReplyDelete
  3. බැරිවෙලාවත් රාගයකට වර්ජිත ස්වරයක් හෝ විවාදී ස්වරයක් ඇතුලු කලොත් මොකද වෙන්නෙ..?

    ReplyDelete
    Replies
    1. විවාදී ස්වර යොදාගන්නා අවස්ථා ද තියනවා.. ඒක හරි ආකාරයට හරි තැනට යොදාගන්න ඕනි. එහෙම නැතිඋනොත් රාග රසය නැතිවෙනවා.. උදඋදාහරණයක් විදිහට භාගේශ්‍රී රාගයේ පංචමය යොදාගෙන රාග රසය වැඩිකිරීම දකින්න පුළුවන් ...

      Delete
  4. Music කරාට රගයක ජතිය වෙන්කර හදුනා ගැනීමට මෙය බෙහෙවින්ම උපකාරි උනා.. ස්තූති.🙏🙏

    ReplyDelete