Monday, December 11, 2017

Music Chords (සංගීත ස්වර සංයෝජන) - පාඩම -1


සංගීත ස්වර කිහිපයක සංයෝජනයක් chord එකක් ලෙසින් සලකන්න පුළුවන්. මෙහිදී එකට සංයෝජනය වන ස්වර අවම වශයෙන් 3ක් වත් විය යුතුයි. ස්වර 6 ක් සංයෝජනය වන සංකීර්ණ chords පවා බටහිර සංගීතයේ හඳුන්වා දී ඇත. ඇතැම් විට ස්වර 8 ක් ඇති chords පවා ඇති අතර, සරල සංගීතයේදී මෙවැනි chords බහුලව භාවිතා නොවේ.

සාමාන්‍ය ගීතයකදී, ඒ ඒ ස්ථාන වලට අදාළ ශෘතිය පවත්වාගෙන යාමට chords බෙහෙවින් උපකාරී වේ. සරලව පැහැදිලි කලවිට, ගීයක් ගැයීමේ දී, පසුබිමින් ඊට අනුබලයක් දීම chords මඟින් කෙරෙන එක් කාර්යයකි.

සංගීත කෘතිය තුල විවිධ රස උත්පාදනය කිරීමටද chords යොදාගනී. තවත් ආකාරයකින් කිවහොත්, ගීතයක් හෝ සංගීත කෘතියක් තුල අවස්ථානෝචිතව chords යෙදීමෙන්, ඒ ඒ අවස්ථාවලදී විවිධ රසයන් ඉස්මතු කරගත හැක. එසේම, අනුචිත ලෙස chords භාවිතයෙන්, එම සංගීත කෘතිය අසාර්ථක වීමට ඉඩ ඇත.



chord එකක වැයීමේ දී, chord එකට අදාළ ස්වර අතුරින් නාදය ප්‍රමුඛ වන ස්වරය අනුව, ඇතිවන නාදය වෙනස් වේ. ඒ අනුව, chord එකක එක් එක් ස්වරයේ නාදය ප්‍රමුඛ කිරීමෙන් විවිධ රසයන් ලබාගත හැක.
එමෙන්ම, විවිධ chords මගින් විවිධ වූ රස භාවයන් උපද්දවයි. මෙම රස භාවයන් පිළිබඳව වෙනමම පාඩමකින් කතාකර ඇත.

සාරාංශයක් ලෙස ගත කල, 

  • Major Chords වලින් - සතුට, පිබිදීම, විනෝදය, දීප්තිමත් සහ උද්යෝගීමත් වූ සෞම්‍ය ශීත පරිසරය, යෞවනය, යොවුන් ආදරය, සැප පහසුව සෙවීම, ධනාත්මක සිතිවිලි නියෝජනය කරයි
  • Minor Chords වලින් - දුක, පසුතැවීම, ගැඹුරු බව, අල්පේච්ඡ බව, ශෝකාකූල අඳුරු වූ, පොද වැසි සහිත උෂ්ණ තෙත් පරිසරය, ඉක්මවූ මැදි වයස, පසුබෑම නියෝජනය කරයි
  • Diminished Chords වලින් - භීතිය, උද්වේගය, ත්‍රාසය, තැතිගැන්ම, බිය මුසු අඳුරු වූ වියලි උෂ්ණ පරිසරය, කරදරයකර මුහුණ පා සිටීම, විනාශකාරී යුද්ධමය අවස්ථා, මරණ භය ආදී කරුණු නියෝජනය කරයි
  • Augmented Chords වලින් - භය මුසු කුතුහලය, අනතුරක් ඇත ළඟ බව, බිය මුසු අඳුරු තොර වූ ශීත වියලි පරිසරය, උද්වේගය, නොසන්සුන් බව ආදී කරුණු නියෝජනය කරයි
  • Suspended Chords වලින් - කුතුහලය, තේරුම් ගැනීමට නොහැකි බව, ගුප්ත බව, උද්වේගය, පිටසක්වල බලපෑම්, ගුප්තමය ගවේෂණ, නිල්වන් ගහකොළින් තොර කඳු හෙල් වලින් යුතු වියලි සෞම්‍ය පරිසරය ආදී කරුණු නියෝජනය කරයි
  • Sixth Chords වලින් - කරුණාව, පරාර්ථකාමී බව, අල්පේච්ඡ බව, තමන්ගේ යයි කිසිවක් නොමැති සිතිවිල්ල, තාපසයන්, තපස් රැකීම, ධ්‍යාන වලට සැම වැදීම, නිල්වන් ගහකොළ වලින් යුතු සිසිල් සෞම්‍ය පරිසරය නියෝජනය කරයි.
  • Dominant Seventh Chords වලින් - උද්වේගකාරී බව, නොසන්සුන් බව, සිතේ අසහනකාරී බව, කරමින් සිටින කාර්යයට බාධා වන බලපෑමක් එල්ලවීම, ශරීරයට අපහසු උෂ්ණ තෙත් පරිසරය නියෝජනය කරයි.
එසේම, chord එකක් වාදනය කරන ආකාරය අනුවද විවිධ රස උපදවයි. chord එකක අඩංගු ස්වර එකවර වාදනය කිරීමේදීද, කුඩා කාල ප්‍රාන්තරයකදී එක ස්වරය බැගින් වාදනය කිරීමෙන්ද, මෙසේ රස නිෂ්පත්තිය වෙනස් වේ.
එපමණක් නොව, chord වැයීමට යොදාගන්නා සංගීත භාණ්ඩය අනුවද රස නිෂ්පත්තිය විවිධ වූ ආකාර ගනී. ස්වරයක හඬ නොකඩවා පවත්වාගෙන යාමට නොහැකි, Piano (පියානෝ) හෝ Guitar (ගිටාරය) වැනි සංගීත භාන්ඩ මඟින් නිපදවනා chords වලට වඩා, ස්වරයක හඬ නොකඩවා පවත්වාගෙන යාමට හැකි organ (ඕගන්), Accordian (එකෝඩියන්) වැනි සංගීත භාණ්ඩයකින් නිපදවනා chords වල රසය වෙනස් ආකාරයක් ගනී.
ප්‍රායෝගිකව chords භාවිතයේදී, තනි සංගීත භාණ්ඩයක් ලෙස, ඕනෑම සංගීත භාණ්ඩයක් භාවිතයට ගත නොහැක. අවම වශයෙන් ස්වර 3ක් වත් එකවර වාදනය කල හැකි සංගීත භාණ්ඩයක් මේ සඳහා උචිතය.
  • Guitar(ගිටාරය)
  • Piano (පියානෝව)
  • Harpsichord (හාප්සිකෝඩ්)
  • Organ (ඕගන්)
  • Accordian (එකෝඩියන්)
  • Ukulele
  • Clavichord (ක්ලැවිකෝඩ්)
  • Harmonium (හාමෝනියම්) ආදී සංගීත භාණ්ඩ chords වැයීම සඳහා උචිතය.

Saxophone (සැක්සෆෝන්), Trumpet (ට්‍රම්පට්), Violon (වයලීන්), Flute (බටනලා), Sitar (සිතාර්), Banjo (බැන්ජෝ) ආදී සංගීත භාණ්ඩ chords වැයීම සඳහා සම්මතයක් ලෙස යොදාගන්නේ නැත.

ලිපිය සකස් කිරීම - වරුණ බණ්ඩාර මහතා

Visit FB Group Post

2 comments:

  1. Casino & Sportsbook Review 2021 - DRMCD
    Casino Gaming has gone online 공주 출장마사지 and 전라북도 출장샵 now they 영주 출장마사지 have the 순천 출장샵 Some of 영주 출장마사지 the most exciting casino games are the Microgaming Casino and Live Dealer (Lafayette).

    ReplyDelete
  2. බටනලා වාදනය සදහා සුදුසු ගීත ප්‍රස්තාර දෙන්න

    ReplyDelete