Thursday, December 14, 2017

කටහඬ පාලනය - 02


 
පළමු වන කොටසින් මා ඔබට පැහැදිළි කළේ " හඬ පරාසය" සකස් කර ගත හැකි සරළ අභ්‍යාසයක් ගැන. මෙම කොටසින් සාකජ්ජා කෙරෙන්නේ හුස්ම රඳවා තබා ගැනීම පිළිබඳව. මොකද? බොහෝමයක් අයට තිබෙන ගැටළුවක් තමා "ගායනය ඉදිරිපත් කිරීමේදී තමා කිසියම් කාලසීමාවක් තුළ ගායනය කළ යුතුව තිබෙන ගීතමය කොටස ගායනා කර අවසන් වන්නට පෙර තමා රඳවා ගෙන සිටින හුස්ම අවසන් වීම"".


මේ නිසා ඇතිවන ගැටළු කීපයක් තමා පහතින් දැක්වෙන්නෙ...
  • ගයන්නේ ගීතයක් නම් එහි අවසන් වචන කිහිපය නොඇසී යාම හෝ අපැහැදිළි වීම.
  • ආයාසයෙන් හුස්ම රඳවා තබා ගැනීමට උත්සාහ කිරීම නිසා අසන්නාට එය කෑගැසිල්ලක් සේ ඇසීම.
  • අනවශ්‍ය ලෙස හුස්ම රඳවා ගැනීමට උත්සාහ කිරීමෙන් ගායනය අතරතුර ඉක්කාවක් වැනි දෙයක් ඇතිවීම.
    ( ඇතැම් අවස්ථාවල මෙය සබකෝලය,බය නිසාද ඇතිවන අතර එය එසේ වන්නේද හර්ද ස්පන්දනය වේගවත් වීමේදී කෙටි හුස්ම ඇතිවන නිසාය.)
  • ගීයක පේලියක් ගයා අවසානයේ"හහ්" යනුවෙන් හුස්ම ගන්නා ශබ්දය අමිහිරිව ඇසීම.
     ඉතින් මෙවැනි ගැටළු නිරාකරණය කර ගැනීමට මනා හුස්ම පාලනයක් ඇති කර ගත යුතුමයි. මේ සඳහා ඔබ මුලින්ම කළ යුතු වන්නේ,

ඔබේ හුස්ම ගැනීමේ රටාව ගැන අවංකව දැණුවත් වීම
මෙහිදී මා "අවංකව දැණුවත්වීම" කියා සඳහන් කළේ ඇයි දන්නවද?
බොහෝ අය තමන් ගැනම අධි තක්සේරුවකින් ඉන්නෙ ගීතයක් සාමාන්‍ය පමණින් හෝ ගැයීමට හැකි වූ පමණින්. ඉතිං ඒ නිසා මුලින් තමන්ට තමන් අවංක වෙන්න ඕනා.
ඒ සඳහා පහත පියවරයන් අනුගමනය කරන්න.

1. නිදහස් වේලාවක් තෝරා ගන්න.
මෙය තමන් ගැන තමන් විසින්ම කරන නිරීක්ෂණයක් නිසා රාත්‍රී නින්දට යන වෙලාව වඩාත් සුදුසුයි කියලයි මම නම් හිතන්නෙ.

2. එම කාලය තුළ ඔබ සාමාන්‍යයෙන් හුස්ම ගන්නා පිළිවෙලට හුස්ම ගන්න.
විනාඩි 5-10 ත් අතර කාලයක් මේ සඳහා වැය කළාම ප්‍රමාණවත්.
මෙහිදී ඔබ නිරීක්ෂණය කළ යුත්තේ ඔබ ගන්නේ "කෙටි හුස්මද? දිග හුස්මද? යන්නයි.
 
3. ඊළඟ පියවරේදී ඔබ ඉහළට ගෙන පහළ දමා අවසන් වන එක හුස්මකට " තත්පර කීයක්" ගත වනවාද? කියා නිරීක්ෂණය කරන්න.
( බොහෝ අයට මෙහිදී ගණනය වන්නේ තත්පර 1හෝ 1 1/2 වැනි ඉතා කුඩා අගයක්.)
 
ඉහත සරළ පියවර මගින් ඔබට හොඳින්ම ඔබේ හුස්ම ගැන අවබෝධයක් ලබාගත හැකියි. එය තීරණය කිරීමෙන් පසුව දෙවනුව තමා හුස්ම පාලනය කිරීමට පිවිසිය යුත්තේ. හුස්ම පාලනය කිරීමේ මූලික පියවර වන්නේ උදරය ට ප්‍රධාන තැන දෙමින් හුස්ම ගැනීමයි. මෙය " බඩෙන් හුස්ම ගැනීම" කියා බොහෝ දෙනා පවසනව. ඔබේ සාමාන්‍ය හුස්ම ගැනීමේ රටාවට නැවතත් අවධානය යොමු කර බලන්න.
"ඔබ ඉහළට ගන්නා හුස්මටද, පහළ හෙලන හුස්මටද කියා ඔබේ උදරය හකුළන්නෙ?"
(බොහෝ අය පිටකරන හුස්මටයි උදරය හකුළන්නෙ.) ගායනයේදී මෙය කණපිට හරවා ගත යුතුයි.

මුලින්ම, ඒ කියන්නෙ,
*ඔබ ඉහළට ගන්නා හුස්ම බඩ හකුළා ගත යුතු අතර... පහළ හෙලන හුස්මේදී බඩ පිම්බීම කළ යුතුයි.*
***** මෙහිදී නම් මේ කාරණය අවධාරණය කළ යුතුමයි. *****
ඔබ ඉහළට ගන්නා හුස්ම නාසයෙන් ගත යුතු අතර පහළට හෙලන හුස්ම කටින් පිට කළ යුතුයි
ඒ වගේම හොඳින් මතක තබා ගන්න. මෙයද ප්‍රගුණ කළ යුත්තේ ඔබේ සාමාන්‍ය හුස්ම රටාවෙන්මයි.
( මෙහිදී බඩ හැකිලීම කළ යුතු වන්නේ ඔබ ඉණට අඳින ඇඳුමක් ඇඳීමේදී බඩ අකුළන ප්‍රමාණයටයි.. එසේ නැතිව බඩ පිටට ඇලෙන ප්‍රමාණයට හෙම නොවෙයි.හොඳද?)
 
* දැං ඔබ මෙම ක්‍රමයට හුස්ම ඉහළ ගැනීමටත් පහළ දැමීමටත් හුරු කිරීමේදීම ඔබේ හුස්ම රඳා පැවතුන "තත්පරය හෝ තත්පර 1 1/2 ,"  "තත්පර දෙකකට විතර" ඉබේටම වැඩි වේවි..
අැතැම් විට කලින් තිබුණ ප්‍රමාණයේම තිබුණත් ඔබට හුස්ම ගැනීමේ හා හෙලීමේ යම් සැහැල්ලුවක් දැනේවි.
 
 සැ.යු.
මෙහි සඳහන් ක්‍රමයට අමතරව යුරෝපීය ඇතැම් රටවල කටහඬ පාලනයට අවශ්‍ය හුස්ම අභ්‍යාස වලදී ‘‘ගන්නා හුස්මට බඩ පිම්බීමත්,හෙළන හුස්මට බඩ හැකිළිමත් සිදු කල යුතු බව ත් සඳහන් කර ඇති ලිපි ද මෙම ලිපිය සැකසීමේදී මට හමුවුනා. ඒ ඒ රටවල දේශගුනයන්ට ගැලපෙන ආකාරයට එලෙස වෙනස් කම් පවතින්නටත් පුලුවන්. 
 
නමුත් මෙහිදී වැදගත් වන්නේ ගායනයට අවශ්‍ය කරන හුස්ම ප්‍රමාණය වැඩි වේලාවක් රඳා පවත්වා ගැනීමනේ. එහිදී වඩා වැදගත් වන්නේ මෙහි මා සඳහන් කළ ක්‍රමය බවට විශ්වාසයි.
ප්‍රෙව්සමෙන් අත්හදා බලන්නකො....

ලිපිය සැකසීම - ශ්‍රීපාලී පට්ටිකාර

1 comment: